Saturday 27th of April 2024

English Tamil
Advertiesment


මහින්දානන්දගේ කතාවත් ඉවරද..?


2020-07-11 7933

(ජගත් ප්‍රේමචන්ද්‍ර)


හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිහිපත් කරමින් තව දුරටත් ස්වයං වින්දනයේ යෙදෙද්දී රාජපක්ෂලාගේ මේ දිනවල උත්සාහය මැතිවරණය වෙනුවෙන් ම දින ගණන් කිරීම ය. කටෙන් වචනයක් පිට කළ ද ඒ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ම ය. තබන පාදය වුව තබන්නේ තමන්ට වාසිදායක යැයි සිතෙන්නේ නම් පමණි.

මහින්ද රාජපක්ෂ, කුඩා චිත්‍ර අමතක කරමින් ලොකු චිත්‍ර දෙස පමණක් බලන්නට යැයි පැවැසූවේ එබැවිනි. ඒ කතාවේ නොබලන්නට යැයි කී පොඩි චිත්‍ර අතර මහින්දානන්දගේ 2011 ක්‍රිකට් ලෝක කුසලානය විකුණූ බැව් කී කතාව ද ඇත්තේ ය. එය මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වූයේ ය. රාජපක්ෂලාට එම චිත්‍රය පොඩි වූවාට, මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සහ ක්‍රිකට් නොදන්නා අයට ද එය පොඩිවූයේ නැත. එබැවින් ම, ඒ කතාව රාජපක්ෂලාට එතරම් හිතකර වූයේ නැත.
පොහොට්ටු පාක්ෂිකයන්ගේ කතාව රට පාලනය මල්ලි කරගෙන යද්දී දේශපාලනය අයියාට කරන්නට කී බව ය. ඒ නිසාම මේ දිනවල ගේම් ගසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොව, අගමැති මහින්ද රාජපක්ෂ ය. එබැවින් ම මහින්දානන්දගේ රට ඇවිලූ ක්‍රිකට් කතාවේ ගිනි නිවන්නට බාරවෙන්නේ ද මහින්දට ය. අර්ධ ශතක වසරක් දේශපාලනයේ තෙම්පරාදු වී සිටින මහින්ද රාජපක්ෂ ඊට සුදුස්සා බැව් කවුරුත් දනී. ගෝඨාභය ද එය දන්නා අතර ඇතැම් තැනක, දෙතැනක නොදන්නා සේ ද සිටී. තෙම්පරාදු දේශපාලනයේ දී මහින්දට ප්‍රශ්නයක් කනපිට හරවන්නට ගතවන්නේ නිමේෂයකි.

ලෝක කුසලානය විකුණූ බවට මහින්දානන්ද කී බෝම්බය, කුමන හේතුවක් මත මේ මැතිවරණයක් අස්සේ කරළියට පිවිසියේ දැයි දන්නේ මහින්දානන්ද ම ය. ඇතැම්විට එය මේ තරම් දුරක් යනු ඇතැයි ඔහු හෝ ඊට අනුබල දුන්නෝ නොසිතන්නට ඇත. මහින්ද පවා සිටින්නට ඇත්තේ ඒ මතයේ ය. නමුත් එය මෙරට පමණක් නොවේ ජාත්‍යන්තරයේ ද කුණු කෝම්බයක් බවට පත්වෙතැයි මහින්දලාට අවබෝධ වෙද්දී මාතෘකාව ගිය දුර බොහෝ ය.

රාජපක්ෂලා වෙනුවෙන් බන්දුල ගුණවර්ධන දුටු දියගම ක්‍රීඩාංගණ සිහිනය දියකර හැරියා සේ මේ ප්‍රශ්නය දියකර හැරිය නොහැකි බැව් මහින්ද දනී. ඒ දියගම මෙරටට පමණක් බලපෑ ප්‍රශ්නයක් වෙද්දී මේ චෝදනාව ජාත්‍යන්තර දක්වා පැතිර ගිය බැවිනි. මාධ්‍ය සමග ක්‍රීඩකයන් ගෙන්වා අදහස් විමසා මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට මහින්දට නොහැකි වන්නේ මේ අරබයා නීති පැනවී ඇති බැවිනි. එම නීති ජාත්‍යන්තරය සමග ද අත්වැල් බැඳගෙන ඇති බැවිනි. මේ නිසාම, මේ ප්‍රශ්නය දිනෙන් දින තමන්ට සහ තමන්ගේ දේශපාලන කුලයට අවාසි සහගත වෙද්දී එය සීරුවෙන් දියකර හැරීම විනා මහින්දට වෙනත් ප්‍රතිකර්මයක් තිබෙන්නට නැත. ඌරාගේ මාළු කැපිය යුත්තේ ඌරාගේ ම පිටේ තබා ය.

ලෝක කුසලානය විකුණූ බවට කී විමර්ශන ආරම්භ කර ඉතාම කෙටි කාලයකින් එහි ප්‍රතිඵලය නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය සමත් වූයේ ය. ඔවුන් මේ කෙටි කාලය තුළ, මහින්දානන්ද විසින් දුන්නා යැයි පැවැසූ සැක කටයුතු ක්‍රියාකාරකම් 24ක් පිළිබඳ පිටු 6ක ලියවිල්ලත්, ඔහුගෙන් පැය ගණනක් කළ ප්‍රශ්න කිරීම්වල කරුණුත්, එවකට තේරීම් කමිටු සභාපතිව සිටි අරවින්ද ද සිල්වාගේ පැය 8ක පමණ කාලයක් තිස්සේ කළ ප්‍රශ්න කිරීම්, ආරම්භක පිතිකරු උපුල් තරංගගෙන් කළ පැය දෙකකට වැඩි කාලයක් කළ ප්‍රශ්න කිරීම් සහ එවකට හිටපු නායකයා වූ කුමාර් සංගක්කාරගෙන් පැය 8කට වැඩි කාලයක් කළ ප්‍රශ්න කිරීම් ද සමාලෝචනය කරමින් නිගමනයක් ලබා දෙන්නේ ය.

ඒ, මහින්දානන්ද අලුත්ගමගේ විසින් එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට තරම් පිළිගත හැකි සාක්ෂි කිසිවක් නොමැති බව පවසමිනි. වත්මන් ශ්‍රී ලංකා පොලිසිය කෙතරම් කාර්යක්ෂම ද? රටක දියුණුවට ඇවැසි වන්නේ මේ කාර්යක්ෂම බව නොවේද? මහින්ද, මහින්දානන්දගේ කුඩා චිත්‍රය දියකර හරින්නේ ඒ කාර්යක්ෂමතාව උපයෝගී කරගනිමිනි. කෙතරම් ආශ්චර්යයක් ද? එහෙත් මහින්දානන්ද එසේ නොවේ. ඔහු අදටත් උත්සාහ කරන්නේ තමන්ගේ සැකය සාධාරණීයකරණය කරන්නට ය.

ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ලබා දුන් පිළිතුරට හැරෙන තැපෑලෙන් මහින්දානන්ද නැවත චෝදනා කරන්නේ එබැවිනි. “පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරීම් කමිටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කටඋත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරීන්ගෙන් ගත්ත ද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කටඋත්තර ලබාගෙන නෑ. මම පැහැදිලිව සඳහන් කළා තොරතුරු ගන්න ඕන කාගෙන් ද කියලා.” මහින්දානන්ද සිදු කෙරුණ පරීක්ෂණය සම්බන්ධයෙන් තම අප්‍රසාදය ප්‍රකාශ කර තිබුණේ එලෙසිනි. එතැනින් නොනැවතුණ ඔහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභයගෙන් ද ඉල්ලා සිටි බවට ප්‍රකාශ කළේ ය. එමෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ද පතුරු ගසන්නට ඔහු අමතක කළේ නැත.

නමුත් මහින්දානන්දගේ මේ ගෝරනාඩුව මධ්‍යයයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ තරගය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අවශ්‍ය තරම් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් ව නැති බවයි. එමෙන් ම එවකට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත කිසිදු ලිපියක් එවා නොමැති බැව් ද ඔහු අවධාරණය කරන්නේ ය.

මේ අවධාරණය ලෙහෙසියෙන් බැහැර කළ හැකි ද? මහින්දානන්ද මීට පෙර පැවැසුවේ තමන් විසින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද දැනුවත් කළ බවයි. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ එවැන්නක් එවා නොමැති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කරණා කටයුතු සිදුවෙන ආකාරයට මේ චෝදනාව බැහැර කිරීමට ඔවුන්ට වුවමනාවක් නැත. එය එසේ නම්, මහින්දානන්ද මීට පෙර පැවැසූ පරිදි ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා යවන ලද ලිපිය යවා ඇත්තේ කාට ද?

මේ මහින්දානන්දලාගේ ස්වයං වින්දනය වෙනුවෙන් පැවැසූ කතා බැව්ය අපට හැඟෙන්නේ. මහින්දානන්දලා එසේ ස්වයං වින්දනයේ යෙදෙද්දී ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද ස්වයං වින්දනයේ යෙදෙන අයුරක් ද අපි දකිමු. ඔවුන් මහින්දානන්දගේ චෝදනාව බැහැර කරන්නට ප්‍රමුඛ හේතුවක් කරගන්නේ පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නොමැතිවීම ය. අපි ඊට ගරු කරමු. නමුත් ඔවුන් දෙවැනියට පවසන්නේ තරගයට සහභාගි වූ සියලු ක්‍රීඩකයන් ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීම හේතුවෙන් රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවිය හැකි බවයි.

එලෙස හේතු දක්වමින් මෙවැනි කුතුහලයට පත් චෝදනාවක් ඔවුන්ට ලෙහෙසියෙන් බැහැර කළ හැකිද? මහජන කුලප්පුවීම් කොතෙක් නම් මේ රටේ මේ වෙද්දී සිදුව ඇත් ද? එහෙත් ඒ කිසිදු විටක මහජන කුලප්පුවීම් නිසා අතරමග නතර කෙරුණ විමර්ශනයක් වේ ද? රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වේ යැයි පවසා මෙවැනි කුතුහලය දනවන මාතෘකාවක් මඟ හැරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද?

මහින්දානන්ද කළ චෝදනාවේදී වැරදිකරුවන් කවුරුන් වුවත්, ඔවුන් නිර්දෝෂී කිරීම අපේ අභිප්‍රාය නොවේ. මහින්දානන්ද තම ස්වයං වින්දනය තකා හෝ කියූ කතාව දැන් ජාත්‍යන්තරයේ ද මාතෘකාවක් ද වී අවසන් ය. මේ මගින් විනාශ වන්නේ අපේ රටේ ක්‍රිකට් ප්‍රතිරූපය ය. අප කළයුත්තේ එය ආරක්ෂා කර ගැනීම ය. එතැනදී අපේ රටේ කළ විමර්ශනය, ජාත්‍යන්තරයට ද වැදගත් වනු ඇත. එහිදී රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වේ යැයි පවසා සාක්ෂි වසා තැබීම මගින් සිදුවෙන්නේ මේ ප්‍රශ්නය තවමත් ඉවරයක් නොමැති බැව් හැඟවීමයි.

එය ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට තරම් නොවේ. මේ තීරණය එළියට එන්නේ විමර්ශන නිලධාරීන්ගේ අපක්ෂපාතී පරීක්ෂණයේ හේතුවෙන් නොවේ යන්න අපි විශ්වාස තබමු. ඔවුන් මේ සා ඉක්මනින් මේ තීරණයට එන්නේ ඊට පිටුපසින් සිට කෙරුණ බලපෑමක් නිසා විය හැකිය. රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් සිදුවේ නම්, මේ අවස්ථාවේ ඒ මගින් යම් හෝ බලපෑමක් දේශපාලනිකව සිදුවෙන්නේ රාජපක්ෂලාට ය. නීතිය, යුක්තිය පසෙක තබා තම තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් රට පෙළගැස්වීම ඔවුන්ගේ එක ම බලාපොරොත්තුවය. එබැවින් මේ හදිසි තීරණය පිටුපස සිටින අදිසි හස්තය කවුරුන් ද යන්න හඳුනා ගැනීම අපහසු නොවේ. 

 

-රාවය- 
Advertiesment